Home / බොලිවුඩ් ගොසිප් / බොලිවුඩයේ ‘අනේපිඬුසිටුතුමා’වසංගතයෙන් අනාත වූවන්ගේ සහයට එයි

බොලිවුඩයේ ‘අනේපිඬුසිටුතුමා’වසංගතයෙන් අනාත වූවන්ගේ සහයට එයි

2020-04-17 09:43:00       1032
feature-top
මිනිස්සු දේවත්වයෙන් පුදන කොටස් දෙකක් ඉන්දියාවේ ඉන්නවා. එක කොටසක් ක්‍රිකට් ක්‍රීඩකයන්. අනෙක නළු නිලියන්. ෂාරුක් ඛාන් ඉන්දියාවේ ජීවමාන දෙවියෙක් බවට පත්වෙන්නේ ඒ විදියටයි. රිදී තිරයේ වීරයකුට....නොම්මර එකේ පෙම්වතකුට... කෝටි එකසිය තිහක ජනතාව ඉදිරියේ ජීවමාන දෙවියෙක් වෙන්නත් හැකියාවත්, වාසනා ගුණයත් දෙකම තියෙන්න ඕන. නමුත් මේ අපූරු සිනමා තරුව දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පොදු ජනතාවගේ හදවතේ එකම විදියට වැජඹෙන්න ඒකම නෙවෙයි කාරණාව. පොදු ජනතාවගේ හදවතේ ලැගුම් ගන්න වුවමනා කෙරෙන සමහර දේවල් උපතින්ම අරන් එන දේවල්. ෂාරුක් ඛාන්ට මේ හැම දෙයක්ම අඩු වැඩි නැතිව තිබුණා. එකක් තමයි මනුස්සකම...

මනුස්සකම තමයි ෂාරුක් ව ඉහළට ඔසවලා තැබුවේ. ෂාරුක්ට තියෙන්නේ උතුරා ගිය මනුස්සකමක්. රටේ, ලෝකයේ පොදු කාරණාවලදී ඒක ඉහළින්ම කැපී පෙනුණා. ෂාරුක් ඛාන්ගේ ඒ මනුස්සකමේ තරම කවුරුත් හරියටම දැක බලා ගත්තේ කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර යන මේ මොහොතේදියි.

කොවිඩ් වෛරසය පැතිරීම නිසා ලොව පුරා රටවල් ‘ලොක් ඩවුන්‘ වුණා. හැම රටකම වාගේ සිනමාවත් කඩා වැටුණා. එවැනි මොහොතක දෙස් විදෙස් නළු නිලියන් කතා කළේ ඔවුන්ට සිදුවුණු ආර්ථික පාඩුව ගැන...ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය කඩා වැටුණාම දෙස් විදෙස් ටෙලිවිෂන් නළු නිලියන් මැසිවිලි නැඟුවේ ඔවුන්ට සිදුවුණු ආර්ථික පාඩුව ගැන. අනිත් ක්ෂේත්‍ර ගත්තත් වැඩි වෙනසක් තිබ්බේ නෑ. ඒ හැම ක්ෂේත්‍රයකම අඩු වැඩි නැතිව ආර්ථික පාඩු ගැන කතා කර කර කනස්සල්ලෙන් කාලය ගත කරන පුද්ගලයන් ඇති තරම්. ඒත් ඒ සියල්ල අමතක කරලා පීඩාවට පත්වුණු පොදු ජනතාව වෙනුවෙන් අරමුදල් එක් රැස් කරන්න...යම් යම් පරිත්‍යාග කරන්න ඉදිරිපත්වුණු නළු නිළියන් නැත්තෙම නෑ. හැබැයි අතලොස්සයි. බොලිවුඩ් සිනමාවේත් අතලොස්සක් තරම් වුණු ඒ පිරිස අතරේ කැපී පෙනුණෙත් ෂාරුක්ම තමයි.

‘ගෙදර ඉන්න‘ කියන ලෝක සෞඛ්‍ය සංවිධානයේ පණිවුඩය අකුරටම පිළිපදිමින් බොලිවුඩයේ නළු නිළියන් නිවාසවල රැඳී සිටිද්දී ෂාරුක් නම් ගත කරමින් සිටින්නේ සුපුරුදු අවිවේකි, කාර්යබහුල ජීවිතයයි. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනකොටස්වලට සහයෝගය ලබාදෙන්නත්, එදිනෙදා වේල සපුරා ගත නොහැකිව අසරණ වූ දිළිඳු පවුල්වලට අත්‍යවශ්‍ය ආහාර පාන ලබාදෙන්නත් ෂාරුක් මේ දවස්වල මුම්බායේ වීදි පුරා රස්තියාදු වෙනවා. රට වෙනුවෙන් සිය යුතුකම් කොටස අකුරටම ඉටු කරන්න ඕනය කියලා හිතන ෂා, බිරිය ගෞරි එක්ක පසුගිය සති කිහිපය පුරාම මෙවැනි සහනාධාර පරිත්‍යාග සිදු කරමින් රජයට සහාය ලබා දුන්නා. ඊයේ පෙරේදා ඔහු කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න ඔහුගේ කාර්යාලයත් රජයට ලබා දුන්නා. ඒක තට්ටු හතරක අංග සම්පූර්ණ සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ලක්.

ෂාරුක් කොහොමත් සුබසාධන වැඩකටයුතුවලදී මුල් තැන අරගෙනයි නිතරම කටයුතු කළේ. ඔහු මීට පෙර අවස්ථා ගණනාවකදීම එවැනි දායකත්වයක් රජයට ලබාදී තිබුණා. ඒ වගේම සුබසාධන කටයුතු වෙනුවෙන් ඔහු මීර් පදනම නමින් වෙනම රාජ්‍ය නොවන සංවිධානයකුත් පිහිටුවා ගෙනයි තිබුණේ.

ඔහු සිය පෞද්ගලික මුදලින් මුම්බායේ පවුල් 5500කට මාසයක් පුරා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වගේම සෞඛ්‍යාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කැපවුණා. ඊට අමතරව මහාරාෂ්ට්‍ර, බටහිර බෙංගාල ප්‍රාන්ත රාජ්‍ය සමග එක්ව ඔහුගේ මීර් පදනම තුළින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂක කට්ටල 50,000ක් පිරි නමන්නත් ඔහු කටයුතු කළා.

ෂාරුක් සමූහ ව්‍යාපාරයක හිමිකාරයෙක්. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය වගේම සිනමා නිර්මාණ ඉදිරිපත් කරන රෙඩ් චිලී එන්ටටේන්මන්ට් සමාගමේ හිමිකාරකත්වයත් ඔහු සතුයි. ඔහු ඒ සමාගම් නියෝජනයක් විදියට කොල්කටා නයිට් රයිඩර්ස් සම හිමිකාරීත්වය දරන ජුහී චව්ලා හා ඇගේ සැමියා සමග එක්ව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ආරම්භ කළ සහනාධාර පදනමකටත් ඊයේ පෙරේදා පරිත්‍යාග රැසක් සිදු කළා. මේ හැම කටයුත්තකදීම ඔහුගේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ඔහු සමග අත්වැල් බැඳගත්තා. නළු නිළියන්ගේ ජනප්‍රියත්වය රඳා පවතින්නේ රංගනයේ සාර්ථකත්වය මතයි. නළු නිළියන් තමන්ගේ ඊළඟ චිත්‍රපටයට ඉල්ලන මුදල තීරණය කෙරෙන්නේ ප්‍රේක්ෂකයන් සිනමාශාලාවලට ඇද ගැනීමේ හැකියාව මතයි. ඒ කියන්නේ රංගන ශිල්පීන් ධන කුවේරයන් බවට පත්වෙන්නේ පොදු ජනතාවගේ කරපිටින් ගිහින්. තමන් දේවත්වයෙන් පුදන, කීර්තිය, ප්‍රසංශාව අතින් ඉහළට ඔසවා තැබූ පොදු ජනතාව වෙනුවෙන් යමක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ කළාතුරකින් කියලයි ෂාරුක් නම් කියන්නේ. ඉතින් පොදු ජනතාවට යමක් කරන්න එවැනි විරල අවස්ථාවක් ලැබුණාම දෙවරක් නොසිතා ඉදිරිපත්වීම තමයි ෂාරුක් ගේ එකම තියරිය.

කොවිඩ් වසංගතයෙන් ලොවම අසරණ වුණු මෙවැනි පසුබිමක ෂාරුක් ඛාන් එක අතකට ඕනෑම රටක රංගන ශිල්පින්ට නියම ආදර්ශයක්. ඔහු බොලිවුඩයේ වඩාත්ම ධනවත් රංගන ශිල්පීන් අතර ඉදිරියෙන්ම පසුවන නළුවා බව ඇත්ත. ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 740ක්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි පහලොස් දහසක් විතර වෙනවා. ඒත් අසරණයකුට ආහාර වේලක් දෙන්න ධන කුවේරයෙක්ම වෙන්න ඕනෙ නැති බවයි ෂාරුක් කියන්නේ.

ජාත්‍යන්තර කලා ශිල්පින් එක්ක කොවිඩ් වසංගතය වෙනුවෙන් සමාජ මෙහෙවරක නිරත වෙන්නත් ෂාරුක්ට මෑතකදී ආරාධනාවක් ලැබුණා. ‘වන් වර්ල්ඩ්‘ නමින් මේ මාසයේ 18 වැනිදා රූපවාහිනි සහ ඩිජිටල් ජාලා හරහා ලොව පුරා විකාශය වීමට නියමිත ප්‍රාසාංගික වැඩසටහනකටයි ඔහුට මේ ඇරියුම ලැබුණේ. ඒ එක්කම ජාත්‍යන්තර සුබසාධන වැඩකටයුතුවල නිතර නිතර යෙදෙන බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ප්‍රියංකා චොප්රාටත් ආරාධනා ලැබී තිබුණා. ‘වන් වර්ල්ඩ්‘ කියන්නේ කොවිඩ් වසංගතය තුරන් කිරිමේ අරමුදලක් එක්රැස් කිරිමේ අරමුණින් පැවැත්වෙන වැඩසටහනක්. ලොව පුරා ජනප්‍රිය රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් මේ වැඩසටහනට එකතු වෙනවා.

හින්දු බැතිමතුන් බහුතරයක් ජීවත්වෙන ඉන්දියාවේ මේ මුස්ලිම් නළුවාට දේවත්වයෙන් පිදීම එක අතකින් පුදුම සහගතයි. අනිත් අතට ෂා රුක් නිරතුරුවම ජාතිවාදයට එරෙහිව හඬක් නගන නිසා බහුතර හින්දු ජනතාව අතර ඔහු වීරයෙක්.

‘හින්දු කියන්නේ මොකක්ද, මුස්ලිම් කියන්නේ මොකක්ද කියලා මම කවදාවත් මගේ දරුවන්ට කියා දෙන්නේ නෑ‘ ඔය විදියට විවිධ අවස්ථාවලදී ෂාරුක් කරන කියන ප්‍රකාශ ඉතා වේගයෙන් ජනතාව අතර උදාන පාඨ බවට පත්වීමත් පුදුමයක්.

‘මට ඕන කරන්නේ අපි සිනමාවේ තරු වුණාට ගත කරන්නේ මධ්‍යම පාන්තික ජීවිත බව මිනිස්සුන්ට කියන්නයි. පිටතින් බලන කෙනකුට මගේ ජීවිතය පේනවා ඇත්තේ සුඛෝපභෝගි, දීප්තිමත් එකක් විදියට වෙන්න ඇති. ඒත් ඇත්තටම ඒක අනිත් අයගේ වගේම සාමාන්‍ය ජීවිතයක්. ‘

 



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »