Home / බොලිවුඩ් ගොසිප් / උතුරා යන බොලි­වුඩ් පොහො­ස­ත්කම

උතුරා යන බොලි­වුඩ් පොහො­ස­ත්කම

2018-11-21 09:09:00       743
feature-top
බොලිවුඩ් සිනමාව නොසි‍ඳෙන උල්පතක් බඳුයි. කිසිදු බාධකයකින් හෝ නවතාලිය නොහැකි මේ සිනමා ප්‍රවාහය නිසා ජනප්‍රියත්වය සහ කීර්තිය ලද නළු නිළි පිරිස්, නිෂ්පාදක, අධ්‍යක්ෂවරුන්, සංගීත අධ්‍යක්ෂවරුන් සහ අනෙකුත් ශිල්පීන් රැසක් සිටි බව, සිටින බව ප්‍රකට කරුණක්. බොලිවුඩ් සිනමාවට ලබාදෙන දායකත්වය නිසා ඔවුන් ධනවතුන් වී සිටින බව රහසක් නොවෙයි.

අද වන විට මුළු ලෝක සිනමාවේ ම රැඳී සිටින ධනවත්ම රංගන ශිල්පියා බිහි වී සිටින්නේත් මේ ඉසුරුමත් බොලිවුඩ් දේශයෙන්ම තමයි. ඔහු තමයි ශාරුක් ඛාන් නම් වූ විශිෂ්ට දක්ෂතා දක්වන සුපිරි නළුවා. මුළු ලෝකයේම වැඩිම වත්කම් ප්‍රමාණයක් හිමි නළුවා ලෙස වාර්තාවක් තබා සිටින ශාරුක් සතු මුළු වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 600ක්.

බොලිවුඩ් සිනමාවේ මෙන් ම ලෝක සිනමාවේ ධනවත් ම නළුවා ශාරුක් බවට පත්වෙද්දී බොලිවුඩයේ දෙවැනි ධනවතා ලෙස සමීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ අමිතාබ් භච්චන්. ඔහු සතු මුළු වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 400ක්.

බොලිවුඩ්පුර තුන්වැනි ධනවත් නළුවා ලෙස සඳහන් වන්නේ සල්මන් ඛාන්. ඔහු සතු සියලු වත්කම්වල අගය ඩොලර් මිලියන 200ක්.

මේ ධනවත් නළු පරපුර අතර සිව්වැනි තැන අමීර් ඛාන්ට හිමිවී තිබෙනවා. ඔහු සතුව ඇත්තේ ඩොලර් මිලියන 180ක වත්කම් ප්‍රමාණයක්. පස්වැනි ධනවතා වන්නේ සයිෆ් අලී ඛාන්. ඔහු, ඩොලර් මිලියන 140ක වත්කමකට උරුමකම් කියනවා. ධනවත් ම නළු පරපුරේ හය වැනි තැන සිටින්නේ කමල් හසන්. ඔහුගේ වත්කම ඩොලර් මිලියන 100 යි. ඊළඟට සිටින්නේ අනුපම් බෙයර්. ලැයිස්තුවේ සත්වැන්නා වන මේ ප්‍රවීණ නළුවාගේ මුළු වත්කම ඩොලර් මිලියන 70ක්. අනුපම් ළඟට සිටින්නේ ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර. ඔහුටත් ඩොලර් මිලියන 70ක වත්කමක් තිබෙනවා.

ශාරුක් ඉන්දියාවේ මෙන්ම මුළු ලෝකයේ ම ධනවත් නළුවා වෙයි.

ඒ අයුරින් මුදල්වලින් තක්සේරු කළ ධනවත් නළු පරපුරේ වත්කම් සැදී ඇත්තේ මෙහෙමයි.

ශාරුක් ඛාන් සතුව සුපිරි මෝටර් රථ කිහිපයක් ම තිබෙනවා. විශාල වතු රැසක් මුම්බායි නුවරත්, ඩුබායි දේශයේත්, ලන්ඩන් නුවරත් ඔහු සතුව තිබෙනවා. මේ අතිවිශාල දේපළ ශාරුක්ට ලැබුණේ බොලිවුඩ් චිත්‍රපටවල රඟපෑමෙන් ම පමණක් නොවෙයි. ඔහු සතුව පවතින රෙඩ් චිලිස් චිත්‍රපට සමාගමෙන් ලැබෙන ආදයමෙන් සහ තවත් ආයෝජන වලින් ලැබෙන ආදායමෙන්. සුප්‍රකට කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රිකට් කණ්ඩායමට ද ඔහුගේ සම දායකත්වය ලැබෙනවා.

අමිතාබ් ගේ වත්කම ගැන කතා කරන්නට සිදුවන්නේ ඔහු සහ ඔහුගේ බිරිය, ජයා භච්චන් ගේ වත්කම් ද එකතු කර ගෙනයි. එයට හේතුව, ඉන්දීය පාර්ලිමේන්තුවේ ‘රාජ්‍ය සභා’ මන්ත්‍රීවරියක ලෙස දැනටත් කටයුතු කරන ජයා භච්චන්, සැමවිටම මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට කලින් තම වත්කම් ප්‍රකාශයට සැමියාගේ වත්කම් ද එකතු කර තිබීමයි. එම දිවුරුම් ප්‍රකාශයට අනුව ඇය සහ අමිතාබ් ගේ වත්කම්වලට වර්ග මීටර 3175 ක් වූ නිවසක් ප්‍රංශයේ ද, බෝපාල්, නොයිඩා, දිල්ලි, මුම්බායි සහ අහමදාබාද් නගරවල පිහිටි නිවෙස් ද ඇතුළත් වෙනවා. මේ හැරුණු විට දවුලට්පූර් සහ ලක්නව් යන ප්‍රදේශවල ඉඩම් කොටස් ද ඔවුන් දෙදෙනා සතුයි.

අමිතාබ් - ජයා මෙන් ම අභිෂේක් - ඓශ්වර්යා යුවළගේත් ‘මහගෙදර’ ලෙස සැලකෙන්නේ ‘ප්‍රතීක්ෂා’ බංගලාවයි. මේ නිවසට යාබදව පූජනීය ස්ථානයක් ද තිබෙනවා. ‘ප්‍රතීක්ෂා’ බංගලාව ඉදිකළේ අමිතාබ් ගේ පියා වන හරිවන්ශ් භච්චන්.

බොලිවුඩයේ තුන්වැනි පොහොසතා වන සල්මන් ගේ වත්කම් මෙලෙස සංක්ෂිප්ත කළ හැකියි. බන්ද්‍රා ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පිහිටි සුපිරි නි‍ෙවසෙහි තමයි ඔහු කුඩා කල පටන් තවමත් තම දෙමවුපියන් සමඟ පදිංචිව සිටින්නේ.

පන්වේල් ප්‍රදේශයේ අක්කර 150ක ගොවිපොළක් ද බන්ද්‍රා ප්‍රදේශ‍ෙය් නිවාස සංකීර්ණයක් ද දැනට ඉදිවෙමින් පවතින නිවාඩු නිකේතනයක් ද ඔහු සතුයි. ඔහුගේ සුපිරි වාහන ලැයිස්තුවට මෝටර් රථ 8ක් සහ මෝටර් සයිකල් 4ක් ඇතුළත් වෙනවා. ඒ විතරක් නොවෙයි. කුඩා ප්‍රමාණයේ නැවක් ඔහුට මෑතකදී උපන් දින තිළිණයක් ලෙස ලැබුණා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »