Home / බොලිවුඩ් ගොසිප් / දේව රුවකට සම නිසා ශ්‍රී නම තබයි

දේව රුවකට සම නිසා ශ්‍රී නම තබයි

2018-03-21 10:34:00       367
feature-top
ඉන්දියාවේ තමිල්නාඩුවේ සිවකාසි පුරවරය ප්‍රසිද්ධව ඇත්තේ ගිනි කෙළි පුරවරය ලෙසිනි. පුංචි ජපානය ලෙසද මේ කෘෂිකාර්මික පෙදෙස ප්‍රසිද්ධය. 1963 අගෝස්තු 13 වැනිදා පාන්දර 5.30 ට ලොවේ සියලුම පුෂ්පයන්ගේ සුන්දරත්වයෙන් සුපුෂ්පිත වූ දූ කුමරියක මේ පුරවරයේ දී උපත ලැබුවාය.

අයියපන් අයියන්ගාර් සහ රාජේශ්වරී අයියන්ගාර් බමුණු කුලයේ මාපියන්හට දාව ඉපදුණු ඇයට මෙම මාපියන් තැබුවේ ශ්‍රී අම්මා අයියන්ගාර් අයියප්පන් නාමයයි. 'ශ්‍රී' යනු දේව අක්ෂරයකි. 'අම්මා' යනු දමිළ සංස්කෘතියේ ගෞරවනීය ආමන්ත්‍රණයකි. අයිප්පන්, රාජේශ්වරී යුවළ විවාහ වු දිනයේ සිට සිහින මැව්වේ සුන්දර දරුවකු වෙනුවෙනි. තමිල්නාඩුවේ නින්රා නාරායන පෙරුමාල් කෝවිලට නිරන්තරයෙන් ගොස් දෙදෙනො පැතුවේ ද එවන් දරු සම්පතකි. එය විෂ්ණු දෙවිඳුට උපහාර පිණිස ඉදිකළ කෝවිලකි.

හින්දු පුරාවෘත්තයකට අනුව ශ්‍රී දේවි, භූ දේවි, නීල දේවි යන දේව භාර්යාවන් අතර විෂ්ණු දෙවිඳුන්ට කරන කැපවීම පෙන්වීමට තරගයක් තිබී ඇත. දෙව් ලොවෙන් මනු ලොවට පියමැන්න ශ්‍රී දේවි කුඹුරුවලින් වට වූ තැනක වාඩිගෙන භාවනා කළාය. ඇයට වන්දනා කිරීමේ බලය ගම පුරා පැතිරුණු අතර සියලු පූජකයෝ එම ස්ථානයට රැස් වී වැඳුම් පිදුම් කළහ.

දේවතාව, විෂ්ණු දෙවියන්ට ඇති ගෞරවය වඩාත් පෙන්වීමට සිරුර ජල ස්වභාවයකට පත් කර ගත්තාය. ඇයගේ කැපවීම දුටු විෂ්ණු දෙවිඳු එම ස්ථානයට පැමිණියේය. දෙවිඳු පසු පසින් භූ දේවි, නීල දේවි දේවතාවෝද පැමිණියහ. අවසානයේදී විෂ්ණු දෙවිඳු විසින් තමන් වෙනුවෙන් කැපවීම කළ දේවතාව ලෙස සිත්ගත්තේ ශ්‍රී දේවි නම් ලත් දේවතාවයි.

තම පවුලට එක් වූ දියණිය දේව රුවක් හා සම රුවකින් උපන් නිසාදෝ ඇයට ‘ශ්‍රී‘ නම තැබීමට අයියප්පන්, රාජේස්වරීගේ යටි සිතට කෙඳිරීය.

පුංචි දෝණිගේ දෑසින් ඔවුන් දුටුවේ ගම්මානයේ වෙනත් කිසිදු දැරියකගේ දෑස්වල නැති ප්‍රභාවකි. හැඩකාර බවකි. සිවකාසි ගිනිකෙළි පුරයේ සියලු ගිනිකෙළිවලටත් වැඩි දීප්තියක් එම සිඟිති දෑසේ දිස්විය. ඇසිපිය නොගැසුවා නම් ඇයගේත් සිඟිති දේව රුවකද වෙනසක් දක්නට නොලැබිණි.

දවසින් දවස ශ්‍රී පිරිපුන් සුන්දර පොඩිත්තියක ලෙස වැඩුණාය. යාන්තමට පියවර එසවිමට ගත් දිනයේ සිට මාපියන් දුටුවේ ඇය පාද තබන්නේ තාලකයට බවය. දැත් දෙපා රිද්මයකට නැළවිම පොඩිත්තියට හුස්ම ගැනීම මෙන්ම සාමාන්‍ය කාර්යක් විය. ශ්‍රී ගේ ජන්ම පත්‍රය පිරික්සූ ජ්‍යෝතිශාස්ත්‍රඥයන් පැවසූ වදන් නිරන්තරයෙන්ම මාපිය දෙසවනෙහි රැව්පිළි රැව් දුන්නේය.

රවි සිකුරු යෝගයෙන් උපන් ඇය අසමසම රූප සම්පත්තියක් ලබන අතර කලා ලොවේ අග්‍රප්‍රාප්ත වන බවත්, ඒ නිසාම ධන සම්පත් පිරි දිවියක් ලබන බවත් ඇයගේ ජන්ම පත්‍රය බැලූ සෑම නක්ෂත්‍රකරුවකුගේම ඒකමතික අදහස විය.

වෘත්තියෙන් නීතිඥවරයකු වු අයියප්පන් සෑම උත්සවයකටම ශ්‍රී දියණිය කැටුව ගියේය. ඔහුගේ යහළුවන් අතර සිනමා ක්ෂේත්‍රයේ නියැළී බොහෝ දෙනකු සිටියේය. මේ හුරුබුහුටි පුංචි දඟකාරිය කාගේත් සිත් ගත් සුරතලියක වු අතර දිනක් ඔහුගේ මිතුරකු වු කන්නදාසන් ආරංචියක් රැගෙන ආවේය. චිත්‍රපට නිෂ්පාදක සින්නප්පා තේවර් සිනමා පටයකට කුඩා දරුවකු සොයමින් සිටින බව එම ආරංචියයි.

කන්නදාසන් එවකට දමිළ සිනමාවේ සිටි අංක එකේ ගීත රචකයාය. එලෙසම භාරතයේ විසු විශිෂ්ට ගණයේ කවියෙක් විය. සින්නප්පා තේවර්ද ඉන්දියාවේ අග්‍රගන්‍ය නිෂ්පාදක‍යකු වු අතර ජනප්‍රිය දේවර් බැනරය යටතේ නිපදවු සෑම සිනමාපටයකටම හිමිකරු වූයේ ඔහුය. මේ නිසා අයිප්පන්ටද දෙවරක් සිතීමට අවශ්‍ය නොවීය.එහෙත් ඔහු බිරියගෙන්ද අවසර පැතීය.

රාජේෂ්වරීද දියණියගේ දෛවයට හරස්වුයේ නැත. මිතුරාගේ හෝඩුවාවකට අනුව සින්නප්පා තේවර් හමුවීමට අයිප්පන් දියණියද කැටුව ගියේ ඇයගේ ඉරණම ලියැවී ඇත්තේ සිනමාවේ බව ඔහුට ඉවෙන් මෙන් දැනුණු නිසයි.

අඩක් ඊස්ට්මන් වර්ණයෙන්ද නිමවන සිනමා පටයේ කුඩා මුරුගා (ස්කන්ධ දෙවියන්ගේ කුඩාවිය) චරිතයට ශ්‍රී තෝරා ගැනුණේ නිතරගයෙනි. එහෙත් ගැටලුවක් පැන නැගිණි. ඒ අධ්‍යක්ෂ ඇතුළු සිනමා කණ්ඩායමට ඇයගේ හි බූ ගෑමට අවශ්‍ය වීමයි.

ශ්‍රී ගේ මව එයට කොතරම් එරෙහිවුවාද කිවහොත් ඇය පුංචි ශ්‍රී දර්ශන තලයෙන් ඉවතට ඇදගෙන ගියාය. එහෙත් අවසානයේ ශ්‍රී ගේ කොණ්ඩය නොකැපීමට තීරණය විය. දිගු කෙස් වැටියක් සහිතව පුංචි ශ්‍රී ස්කන්ධ දෙවියන්ගේ කුඩාවිය නිරූපණය කළාය.

එම සිනමාපටය 1969 ජුලි 04 වැනිදා තිරගත විය. පළමු රංඟනයෙන්ම කුඩා ශ්‍රී රසික හදවත් දිනා ගැනීමට සමත් විය. තුනෙයිවන් දර්ශන කාලයේ දී දමිළ සිනමාවේ මහා නළුවෙකු වූ එම්. ජී රාමචන්ද්‍රන් කුඩා ශ්‍රී ගේ දස්කම් දැක ඇය නාම් නාඳු (1969) සිනමා පටයට තෝරාගන්නා ලදි. ඒ සමඟම ඇයගේ ජීවිතය සිනමාවෙන් වෙන්කළ නොහැකි සේ බද්ධ විණි.




උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »