Home / බොලිවුඩ් ගොසිප් / ශාරී­රික දුබ­ලතා පරදා ජීවි­තය ජය­ගත් දිරිය දිය­ණි­ය­කගේ කතාව H i c h k i

ශාරී­රික දුබ­ලතා පරදා ජීවි­තය ජය­ගත් දිරිය දිය­ණි­ය­කගේ කතාව H i c h k i

2018-03-09 10:44:00       217
feature-top
දෙපා ඇති අය පාවහන් නොමැතිව හඬද්දී දෙපා නැත්තෝ දිරිමත්ව ජීවිතය ජය ගන්නා සටනකය. අවසන හාවා පරදා ඉබ්බා ජය ගත්තා සේ විශේෂ අවශ්‍යතාවක් සහිතව උපන්නද අංග සම්පූර්ණව උපන් අයගෙන් එල්ලවන බාධා පරදා සිය යහ ඉලක්ක සපුරා ගන්නන් එමටය. හිච්කි (ඉක්කාව) බොලිවුඩයේ නවතම සිනමා පටය ගෙන එන්නේ එවන් දිරිය දියණියකගේ කතාවයි.

කාන්තා දිනය යෙදී ඇති මාර්තු මාසයේදී ම ‘හිච්කි’ තිරගතවීමද සුවිශේෂීය. තම විශාල ම ශාරීරික දුබලකම ප්‍රබල ම ශක්තියකර ගැනීමට නෙයිනා මතූර්ගේ චරිතය සමස්ත කාන්තා පරපුරට ම ආදර්ශයක් වනු ඇත. ටොරේට් සින්ඩ්‍රෝමය ලක්ෂ ගණනින් එක් අයකුට සෑදෙන ඉතා දුලබ ස්නායු රෝගයකි. බුද්ධියට, ආයුකාලයට රෝගය බල නොපාන නමුත් ඉක්කා වැටීම, ක්ෂණිකව ඇසි පිය හෙළීම, උගුරු පෑදීම, මුහුණේ අක්‍රමවත් චලන ආදිය නිසා සමාජ‍යේදී අපහසුතාවට ලක්වේ. නෙයිනා (රාණිමුඛර්ජි) මුහුණ දුන්නේ ඒ තත්ත්වයටයි. නවක ගුරුවරියක වූ ඇය ටොරේට් සින්ඩ්‍රෝමයෙන් පීඩා වින්දාය. සම්මුඛ පරීක්ෂණ ගණනාවකින් හා ප්‍රතික්ෂේප කිරීම් ගණනාවකින් පසු ඇයගේ සිහින වෘත්තිය වූ ගුරු වෘත්තියේ ස්ථාපිත වීමට හැකිවෙයි. පූර්ණ කාලීන ගුරුවරියක ලෙස ප්‍රභූ දරුවන් ඉගෙන ගන්නා නගරයේ පාසලක ඇයට සේවය කිරීමට ලැබේ. එහෙත් දරුවන්ගේ නොසැලකිල්ල හා දඟකාර බව නිසාත් තම ශාරීරික දුබලතාව නිසාත් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවෙයි. නෙයිනා තම දුබලතාව ගැටලුවක් කර නොගෙන ඔවුන් හොඳින් සිප් සතර හදාරන පිරිසක් බවට පත් කිරීමට වෙර දැරීමේ කතන්දරය ‘හිච්කි’ සිනමා පටයෙන් දිග හැරේ.

හිච්කි සිනමා පටයට පාදක කරගෙන ඇත්තේ බ්‍රැඩ් කෝහන්ගේ ‘ෆ්‍රන්ට් ඔෆ් ද ක්ලාස්: හවු ටොරේට් සින්ඩ්‍රෝම් මේඩ් මී ද ටීචර් අයි නෙවර් හැඩ්’ කෘතියයි. බ්‍රැඩ් ද රෝගයෙන් පීඩා විඳින අයෙකි. වසර 2008 දී එම කෘතිය ඇසුරින් ‘ෆ්‍රන්ට් ඔෆ් ද ක්ලාස්’ නම් හොලිවුඩ් සිනමා පටය තිරගත විය.

එම කතාවේ ටොරේ‍ට් සින්ඩ්‍රෝමයෙන් පීඩා විඳින දරුවෙක් මවගේ උත්සාහය නිසා ඉගෙන ගෙන සම්මානනීය ගුරුවරයෙක් බවට පත්වෙයි.

‘හිච්කි’ යාෂ් රාජ් නිෂ්පාදනයකි. රෝගී ගුරුවරිය ලෙස ප්‍රධාන චරිතය නිරූපණය කරන රාණි මුඛර්ජි ප්‍රේක්ෂකයන් වෙත පැමිණෙන්නේ වසර හතරකට ආසන්න කාලයකට පසුවය. ත්‍රාසජනක අපරාධමය සිනමා පටයක් වූ ‘මර්දානි’ සිනමා පටයෙන් පොලිස් නිලධාරි ලෙස රංගනයේ යෙදුණු ඇය මෙවර පාසල් ගුරුවරියක් වන්නීය. චිත්‍රපට නිෂ්පාදක ආදිත්‍ය චොප්රා සමඟ විවාහ වී 2015 දී අදීරා දියණිය බිහිකළ පසු ඇය සිනමා පටයකට රංගනයෙන් දායක ව‍‍ූයේ නැත. එනිසා ‘හිච්කි’ ඇයගේ රසික රසිකාවන්ට අගනා තිළිණයක් වනු ඇත. තිස්නව හැවිරිදි රාණිට ද මෙය සිනමා දිවියේ කඩඉමකි.

‘හිච්කි’ අධ්‍යක්ෂවරයා සිද්ධාර්ත් පී මල්හෝත්‍රාය. දරුවා ලැබීමෙන් පසු හා හා පුරා කියා කළ රංගනයට සිද්ධාර්ත්ගෙන් රාණිට කදිම සහායක් ලැබී ඇත. අනවශ්‍ය ලෙස ඔහු ඇය දර්ශන තලයේ රඳවාගෙන නැත. උදෑසන ම දර්ශන තලයට පැමිණ දිවා කාලය වන විට ඇයට නිවෙස බලා යාමට හැකිවිණි.

දෙවසරකින් ම කැමරාවට මුහුණ නුදුන් නිසා ඇයට ලැබුණු අභියෝගාත්මක චරිතයට විශේෂ සූදානම් වීමක් අවශ්‍ය විය. එනිසා ඇය නෙයිනා ලෙසින් චරිතයට මානසිකව හා කායිකව දැඩි සූදානමක් වූවාය. “කැමරාවට කාලෙකින් මුහුණ නුදුන් නිසා රඟපාන්න පුළුවන් වේවිදැයි සැක හිතුණා. ඒත් රඟපෑමත් හරියට පීනනවා වගේ. ඉබේ ම කැමරාව ඉදිරියේ රංගනය අවදිවෙනවා.” රාණි සාකච්ඡාවකදී ප්‍රකාශ කළාය. රාණි මුලින් ම කර ඇත්තේ තම ජීවන වෘතාන්තයෙන් ‘ෆ්‍රන්ට් ඔෆ් ද ක්ලාස්’ ලියූ බ්‍රැඩ් කෝහෙන්ට කතා කිරීමයි. අමෙරිකාවේ ජීවත්වන ඔහු ටොරේට් සින්ඩ්‍රෝමයෙන් පෙළුණත් දැන් එරට පාසලක විදුහල්පති වරයෙකි. ඇය ඔහුට ස්කයිප් ඇමතුම් කිහිපයක් ම ලබා දුන්නාය. ඔහු ද ‘හිච්කි’ ගැන සතුට ප්‍රකාශ කර තිබේ. හාෂ් මයර් (ආතිෂ්), සුප්‍රියා පිල්ගෝන්කර්, කූනල් ෂින්ඩේ, ශිව්කුමාර් සුබ්‍රමනියම්, නීරජ් කබි, අසීෆ් බසරා, අයිවන් රොඩ්‍රිගූෂ් (විදුහල්පති) සහ සුප්‍රියෝ බෝස් (ප්‍රධාන ගුරුවරයා) ලෙස චරිත නිරූපණය කරති.

‘හිච්කි’ නිල ට්‍රේලරය සල්මන් ඛාන්ගේ ‘ටයිගර් සින්ඩා හෛ’ සමඟ 2017 දෙසැම්බර් 19 වැනි දින නිකුත් කෙරිණි. සිනමා පටය 2018 මාර්තු 23 තිරගත වීමට නියමිතය.

මෙහි සංගීතය නව පරපුරේ සංගීතඥ ජස්ලීන් ‍රෝසල් ගෙනි. මෙහි ගීත හතක් අන්තර්ගතය. හාර්ෂ්දීප් කෞර්, බෙනී දයාල්, ඩේවිඩ් ක්ලයිටන්, අර්ජිත් සිං, ජස්ලීන් රෝයල්, ශිල්පා රාඕ ගී ගයති. රාණි ‘හිච්කි’ සිනමා පටයේ නෙයිනා ලෙසින් පාසලින් පාසලට යන්නීය. මුලින් ම සිනමා පටය පෙන්වූයේ ද ගුරුවරුන්ටය.

ෆිල්ම් ෆෙයාර්, ස්ටාර් ස්ක්‍රීන්, සී සිනේ ආදී සිනමා සම්මාන රැසකින් පිදුම් ලැබූ රාණි මුඛර්ජිට හිච්කි හි මේ අභියෝගාත්මක චරිතය තවත් සම්මානයක් ගෙන දේවිද?

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »