Home / බොලිවුඩ් ගොසිප් / තාබුගේ පැරැණි පෙම්වත්තු

තාබුගේ පැරැණි පෙම්වත්තු

2018-03-06 11:33:00       219
feature-top
“සමහර වෙලාවට මට ගොඩක් වැඩ තියෙනවා. සමහර වෙලාවට ටිකයි. සාමාන්‍යයෙන් මටත් හැමදාම යෙදිල ඉන්න ‍වෙන වැඩක් තියෙනවා. මම ජිම් එකටත් යනවා. ස්ථිරව ම කරන්න ඕනෙයි කියල දෙයක් මට නැහැ. හැබැයි මම හැමදාම ස්ථිරවම උදේ තේ එක නම් වරදන්නෙ නැහැ. ඒක මම පැයක් විතර නිදහසේ තොල ගානවා. මේ ‍වෙලාවට තමයි මම ගොඩක් ම කැමැති.” 80 දශකයේ සිනමා රංගනයට පිවිස තවමත් ප්‍රේක්ෂක ප්‍රසාදය නොඅඩුව ලබමින් සිටින ප්‍රවීණ නිළි තාබු තමයි එලෙස පැවසුවේ. ඉන්දීය විද්‍යුත් මාධ්‍යයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ඇය, උදේ තේ පානය ගැන තවත් විස්තර හෙළි කළා...

“උදේට මම තේ කෝප්ප දෙක තුනක් බොන අවස්ථාත් තියෙනවා. ඉන් පස්සෙ තමයි මගේ වැඩ පටන් ගන්නෙ. තේ වෙලාව අතරතුරදි මම කිසිම වැඩකට යන්නෙ නැහැ. කවුරුත් ඒකට බාධා කරනවට මම කොහෙත්ම කැමැති නැහැ” ‘ඔබ දීර්ඝ කාලයකට පස්සෙ සාදවලට, උත්සව වලට එන්න පටන් ගෙන...’ සම්මුඛ සාකච්ඡාවේදී මාධ්‍යවේදියා එලෙස පැවසූ වදනට තාබුගෙන් ලැබුණේ මෙහෙම පිළිතුරක්. “හ්ම්... මට තේරෙන්නෙ නැහැ, හුඟ දෙනෙක් මං ගැන ඔය විදිහට හිතන්නෙ ඇයි කියල. මම කොහොමත් පාටි වලට කැමැතියි. ඒත්, සිනමාවට සම්බන්ධ උත්සවවලට යෑම නම් සමහර වෙලාවට වෙහෙසකරයි වගේ දැනෙන්නෙ. ශාරුක් ඛාන් වගේ හිතවතුන්ගෙන් ලැබෙන ආරාධනා නම් මම පිළිගන්නවා. ඒ වගේ අයත් එක්ක උත්සව වලට යෑම මිහිරි අත්දැකීමක්.”

ගතවූ දශක දෙත කුළදී තාබු සමඟ හිතවත් වූ අයකු තමයි, ජනප්‍රිය නළු අජේ දේව්ගන්. මේ කතා බහේදී ඔහු ගැනත් පුංචි පැනයක් තාබු වෙත යොමු වුණා.

“අජේ මාව හඳුනන්නෙ අවුරුදු 20 ක විතර කාලයක් තිස්සේ. එයා මගේ ඥාති සහෝදරයෙක් වන සමීර් ආර්යා ගේ අසල්වැසියෙක්. එයාගෙ ළඟම මිත‍්‍රයෙක්. නිළියක් හැටියට ඉදිරියට ආපු කාලෙදි අජේ මාත් එක්ක ගොඩක් හිතවත් වුණා. අජේ සහ සමීර් මං ගැන නිතර ම හෝදිසියෙන් තමයි හිටියෙ. මම මේ දෙන්නා ගැනම කල්පනා කරමින් හිටියා. එහෙම කාලය ගත කරමින් හිටපු නිසා මට තනිකඩව ඉන්න වුණා. ඒ ගැන වගකීම භාර ගන්න ඕනෙ මේ දෙන්නාම තමයි.” තාබු සිනාසෙමින් පැවසුවා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »