Home / බොලිවුඩ් ගොසිප් / ජිතේන්ද්‍රටත් අපචාර චෝදනා

ජිතේන්ද්‍රටත් අපචාර චෝදනා

2018-02-22 10:14:00       362
feature-top
බටහිර සිනමාවේ ඇතැම් නළුවන්ට, නිෂ්පාදකයන්ට වරින් වර එල්ලවන කාන්තා අපචාර චෝදනා සමඟ තරග කරන්නට මෙන් බොලිවුඩ් සිනමාවේ ඇතැම් නළුවන්ටත් එවැනි ‍චෝදනා එල්ල වෙන්නට පටන්ගෙන තිබෙනවා. හැබැයි, හොලිවුඩ්පුරයේ ගහක් ගලක් ගානේ එල්ලවෙන පරිදි බොලිවුඩ්පුරයේ නම් මේ චෝදනා සුලබ නැහැ.

පසුගිය සතියේ එවැනි ‍චෝදනාවක් ලැබුවේ එදා හින්දි තිරය බැබළවූ තරුවකටයි. කාන්තා අපචාරයක් සිදු කළැයි චූදිතයකු වී සිටින්නේ ප්‍රවීණ නළු ජිතේන්ද්‍රයි. ඔහු මේ අපචාරය සිදු කළැයි පැවසෙන්නේ මීට අවුරුදු 50 කට පෙරයි. රවි කපූර් නමින් හඳුන්වා ගත් එක්තරා කාන්තාවක් පිටු දෙකකින් යුතු පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කර තිබෙනවා. එහි ඇය සඳහන් කර ඇත්තේ තමන් දහ අට වියැති යුවතියකව සිටිද්දී එවකට විසි අට වැනි වියෙහි පසුවූ ජිතේන්ද්‍රගෙන් තමන්ට අතවරයක් සිදුවූ බවයි.

මේ ගැන අදහස් දැක්වූ ජිතේන්ද්‍රගේ නීතිඥවරයා වන රිස්වාන් සිද්ධිකී පවසන්නේ මෙම කාන්තාවගේ චෝදනාව තම සේවාදායකයා (ජිතේන්ද්‍ර) විසින් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. ‘මේ ‍චෝදනාව පදනම් විරහිත එකක්. ඒ වගේම ගොතන ලද පුවතක්. අවුරුදු පනහකට කලින් සිද්ධ වුණාය කියන මේ සිද්ධිය ගැන කිසිම පොලීසියක්වත් අධිකරණයක්වත් පරීක්ෂා කරන්න පෙලඹෙන එකක් නැහැ.” නීතිඥ රිස්වාන් එලෙස පවසද්දී රවි කපූර් නැමැත්තිය පවසන්නේ මේ කතාවයි. ‍

“1971 දී මම, මගේ තාත්තාත් එක්ක ජිතේන්ද්‍ර රඟපාමින් සිටි චිත්‍රපටයක දර්ශන තලයට ගියා. ඒ, චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ඉල්ලගෙන. එදා ජිතේන්ද්‍ර මාව එයාගෙ කාර් එකේ දමාගෙන එයා නැවතිලා හිටිය ‍හෝටලයට එක්ක ගෙන ගියා. කාමරයට ගිය ජිතේන්ද්‍ර මත්පැන් බීලයි හිටියේ.” ඉන්පසුව ඇය පැවසුවේ ඔහු තමන්ට අතවර කළ අයුරුයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියක වන කුශාල් ශර්මා පැවසුවේ මෙම අතවර චෝදනා ඇතුළත් පැමිණිල්ල ගැන පරීක්ෂණයක් පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »