Home / බොලිවුඩ් ගොසිප් / සල්මන්ට පොලිස් ආරක්ෂාව

සල්මන්ට පොලිස් ආරක්ෂාව

2018-01-30 11:27:00       208
feature-top
‘සල්මන් ඛාන් මේ ජෝඩ්පූර් වලදීම මැරුම් කාවි. එතකොට තමයි, එයා අපේ හැටි දැනගන්නෙ.” 1998 දී සිදුවූ චින්කාරා මුව දඩයමට අදාළ නඩු විභාගයට පෙනී සිටීමට සල්මන් ඛාන්, ජෝඩ්පූර් අධිකරණය වෙතට පිය නගද්දීයි, ඔහුට මේ තර්ජනය එල්ල වුණේ. ලෝරන්ස් බිෂ්නෝයි නම් වූ තරුණයෙක් සල්මන්ට එලෙස තර්ජනය කළා. ලෝරන්ස්, පොලිස් ආරක්ෂාව මැද අධිකරණයට පැමිණියේ ඔහුට එරෙහිව පවරා ඇති මිනී මැරුම් නඩුවකට පෙනී සිටීමටයි. (ඔහු ලද චෝදනාව ජෝඩ්පූර් ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම)

ලෝරන්ස්ගේ තර්ජනය ඉන්දීය පොලිසිය සුළුවෙන් බැහැර කර නැහැ. ඒ නිසා සල්මන්ට පොලිස් ආරක්ෂාව ලබාදීමට තීරණය වෙලා. මේ දිනවල සල්මන්, ‘රේස් - 3’ චිත්‍රපටයේ රඟපානවා‍. පසුගියදා මෙහි රූගත කිරීම් සිදුවෙද්දී හදිසියේ ම දර්ශන තලයට පැමිණ ඉන්දීය පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු දන්වා සිටියේ සල්මන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රූගත කිරීම් නතර කරන ලෙසයි.

එසැණින් ම සල්මන්ව ඔහුගේ වාහනයට නැංවූ පොලිස් නිලධාරීන් ඔහුව නිවසට රැගෙන ගියේ දැඩි ආරක්ෂාව මැද්දේයි. සල්මන්ගේ මෝටර් රථයට ඉදිරිපසින් ගමන් කළේ පොලිස් නිලධාරීන් 6 දෙනෙකුගෙන් සමන්විත රථයක්. ඔහුගේ මෝටර් රථය තුළ තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු සිටියා. මේ යන අතරදී පොලීසිය සල්මන්ට දැන්වූයේ ආරක්ෂාවක් නොමැතිව නිවසින් බැහැරට නොයන ලෙසයි. සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ පණිවුඩ හුවමාරු කරගනිද්දී තමන් සිටින ස්ථානය සඳහන් නොකරන්නැයි ද සල්මන්ට උපදෙස් ලැබී තිබෙනවා. තම පුත්‍රයාට මරණ තර්ජන එල්ලවී ඇති බව සල්මන්ගේ පියා (ප්‍රවීණ තිර රචක සලීම් ඛාන්) ද පැවසුවා. “මම දන්නවා සල්මන්ට තර්ජන තියෙනවාය කියලා. එයාට මේ වගේ තර්ජන එල්ල වුණ මුල්ම වතාව මේක නෙමෙයි” සලීම් ඛාන් පැවසුවා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »