Home / බොලිවුඩ් ගොසිප් / භාරතීය සිනමාවේ පෙරළිකරන ශ්‍රී ලාංකේය රුවැත්තිය පද්මාවතී

භාරතීය සිනමාවේ පෙරළිකරන ශ්‍රී ලාංකේය රුවැත්තිය පද්මාවතී

2017-11-30 11:04:00       439
feature-top
සිනමාවේ ප්‍රේමණීය කතා සිත්තම් කිරීමට උපන් හපන් අධ්‍යක්ෂවරයකු වූ සංජේ ලීලා බන්සාලි ගේ නවතම බොලිවුඩ් නිර්මාණය රස විඳීමේ වරම ප්‍රේක්ෂකයන්ට උදාවී ඇත. හම් දිල් දේ චුකේ සනම් (1999), දේව්දාස් (2002), ගෝලියෝන් කි රාස්ලීලා රාම් - ලීලා (2013), බජිරාඕ මස්තානි (2015) ට පසුව සිනාමවට නැ‍ඟෙන ඔහුගේ ‘පද්මාවතී’ සිනමාපටය මේ වන විටත් අන් සියලු ම සිනමා පටවලට වඩා ආන්දෝලනාත්මක නිර්මාණයක් වී අවසන්ය.

මේ පුරාවෘතයේ අයුරට ම එය ද්වන්ධ සටනකට මුලපුරා තිබේ. සිනමා පටය තිරගත වීමට නියමිතව තිබුණේ දෙසැම්බර් 1 වැනිදා වුවද එය දැන් දෙසැම්බර් 21 වැනි දිනට කල් ගොස් ඇත. ඇතැම්විට එය තවදුරටත් කල් යෑමට ද ඉඩ තිබේ. ශ්‍රී රාජ්පුට් කර්නි සේනා කණ්ඩායම, අඛිල් භාරතීය ක්ෂත්‍රිය මහසබා සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සිනමා පටයේ අධ්‍යක්ෂ, ප්‍රධාන තරු ත්‍රිත්වයට එරෙහිව අවි ඔසවා අවසන්ය.

බන්සාලි, දීපිකා පදුකෝන්, සාහිඩ් කපූර්, රන්වීර් සිං මේ අන්තවාදීන්ගේ පරම සතුරන් බවට පත්වී තිබේ. රාජ්පුට් රැජන පද්මාවතී මුස්ලිම් පාලක අලවුදීන් ඛිල්ජි සමඟ සබඳතාවක් ඇති බව මේ නිර්මාණයේ දැක්වීම හින්දූන්ගේ සිත රිදවන කාරණයක් වී ඇත.

රාණි පද්මාවතී සේ රඟන දීපිකා පදුකෝන්ට හා අධ්‍යක්ෂ බන්සාලිට එරෙහිව ඔවුහු යුද ප්‍රකාශ කරති.

රන්වීර් සිං කළු චරිතයක් නිරූපණය කරන්නේ ප්‍රථම වරටය. බන්සාලි රන්වීර්ට චරිතය හඳුන්වා දී ඇත්තේ අලෞදීන් චරිතය හිට්ලර්ට සමාන බවය. ඔහු ද සාහිඩ් මෙන් ම උග්‍ර සටන් පුහුණුවක නිරත විය. අලෞදීන්ගේ බිරිය මෙහ්රුනිසා ලෙස අදිති රාඕ හයිදාරි සිව්වැනි ප්‍රධාන චරිතයට තෝරා ගන්නා ලද්දේ ජයා බච්චන්ගේ නිර්දේශය මතය. ඔක්තෝබරයේ පළමු සිනමා ගීතය ‘ගූමර්’ රස විඳින්නට රසිකයන්ට අවස්ථාව ලැබිණි. ගීතය ගායනා කරන ලද්දේ ශ්‍රෙයා ගෝසාල් විසිනි. මෙහි ගීතමය ජවනිකා ඇත්තේ දෙකකි.

සිනමා පටයේ චරිත සඳහා ඇඳුම් පැලඳුම් නිර්මාණය වූයේ සාම්ප්‍රදායික රාජස්ථාන එම්බ්‍රොයිඩර් රටා ද ඇතුළත් කරමිනි. පද්මාවතී ශ්‍රී ලාංකේය චරිතයක් නිසා ශ්‍රී ලාංකේය ඇඳුම් රටාවේ ආභාෂය ද ඇයගේ ඇඳුම් පැලඳුම්වලට ලැබී තිබිණි. පද්මාවතී කතාවට පාදක වී ඇත්තේ 13 - 14 සියවසේ ජීවත් වූ භාරතීය රාජනිය රාණි පද්මිණී හෙවත් පද්මාවතීගේ පුරාවෘතයයි. මලික් මොහොමඩ් ජයසි විසින් 1540 දී රචනා කළ මෙම කාව්‍යමය පුරාවෘතය හා සම්බන්ධවඇති පුරාවිද්‍යා සාක්ෂි නම් සැලකිල්ලට නොගත යුතු තරම්ය. එම කාව්‍යයට අනුව පද්මාවතී අසාමාන්‍ය රූප සම්පත්තියකින් හෙබි සිංහල රාජධානියේ (ශ්‍රී ලංකාවේ) රුවැති කුමරියකි. චිතෝර්හි රාජ්පුට් පාලක රතන් සෙන්ට ඇයගේ රූසපුව ගැන අසන්නට ලැබෙන්නේ කතා කරන හිරාමාන් නම් ගිරවකුගෙනි. ඔහු ඇය දිනාගෙන චිතෝර් දේශයට රැගෙන යයි. අලවුදීන් කල්ජි දිල්ලිහී සුල්තාන්වරයායි. ඇයගේ රූ සම්පත්තිය ගැන ඇසූ ඔහු චිතෝර් යුද බලයෙන් පරාජය කර පද්මාවතී හිමිකර ගැනීමට අදිටන් කර ගනී. චිතෝර් පරාජය කළ ද අලවුදීන්ට පද්මාවතී උරුම කර ගැනීමට වරම් නොලැබේ. එයට හේතුව ඇය තම ගෞරවය රැක ගැනීමට පරිවාර ස්ත්‍රීන් සමඟ සියදිවි නසා ගැනීමයි. මේ පුරාවෘතය පසු කාලීනව විවිධ ප්‍රතිසංස්කරණවලට භාජනය වී තිබේ. හින්දු ජාතික රාජ්පුට් රැජන, මුස්ලිම් ආක්‍රමණිකයන්ට එරෙහිව දිවි පූජා කළ බව පසු කාලීනව බොහෝ නිර්මාණවල දැක්විණි.

සිනමා පටයේ පූර්ව නිෂ්පාදනය ඇරැඹෙන්නේ 2016 වසරේදීය. බන්සාලි තම පෙර නිර්මාණය වූ ගෝලියෝන් කි රාස්ලීලා රාම් ලීලා (2013) සහ බජිරාඕ මස්තානි (2015) ට සම්බන්ධ වූ දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං රාණි පද්මාවතී චරිතයට හා අලෞදීන් කිල්ජි චරිතවලට තෝරා ගන්නා ලදී. ප්‍රියංකා චොප්රා ද මීට දායක කර ගැනීමට අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වුවත් ඇය සිනමා පටයට දායකවීම ප්‍රතික්ෂේප කර තිබේ. ඔක්තෝබරය වන විට රාවල් ‍රතන් චරිතයට සාහිඩ් කපූර් තෝරා ගත්තේය. අමෙරිකානු සිනමා සමාගමක් වන පැරමවුන්ට් පික්චර්ස් විසින් බෙදා හැරීමට ගත් පළමු සිනමා පටය ‘පද්මාවතී’ විය.

රාජ්පුට් රජ මහරවාල් රතන් සිං රජ ලෙස රංගනය යෙදීමේදී සාහිඩ් කපූර් දින හතළිහ සීමාසහිත ආහාර රටාවකට යොමු වූ අතර කඩු සටන් ද පුරුදු පුහුණු ව‍ූවේය. වරක් සාහිඩ් කියා සිටියේ මෙය කායිකවත් මානසිකවත් අභියෝගාත්මක චරිතයක් වී ඇති බවයි. රන්වීර් සහ සාහිඩ් තම චරිතවල වටිනාකම් ගැන වාද විවාද කළ බවට ද රූගත කිරීම් සිදුවන කාල වකවානුවේදී නෝක්කාඩුවෙන් පසුවූ බවට ද රාවයක් පැතිරිණි. සැබෑ ජීවිතයේදී ආදරවන්තයන් බවට විශ්වාස කරන දීපිකා හා රන්වීර් සිනමා පටයේ එක් ජවනිකාවකදීවත් එකට මුණ නොගැසේ. සාහිඩ්ට සහ රන්වීර්ට මෙහි රංගනයට ඉන්දියානු රුපියල් කෝටි 10 බැගින් ගෙවා ඇති අතර දීපිකාට ඉන්දියානු රුපියල් කෝටි 13 ක් ගෙවා තිබේ. සහෝදර නළුවන්ට වඩා නිළියකට වැඩි මුදලක් ගෙවන්නේ කලාතුරකිනි.

දීපිකාගේ රාජස්ථාන අබරණ නිර්මාණය කිරීමට කිලෝග්‍රෑම් 400ක රන් ප්‍රමාණයක් අවශ්‍ය වූ අතර දෙසීයක් දෙනා දින 600 ක කාලයක් ආභරණ නිර්මාණය කිරීමට ගතකර තිබේ. ‘ගූමාර්’ ගීත ජවනිකාවට පෙනී සිටීමේදී කිලෝග්‍රෑම් 3ක රන් ආභරණ පැලඳූ බව කියවේ.

සිනමාපටය රූගත කරන කාලය පුරාම ශ්‍රී රාජ්පුට් කර්නි සේනා කණ්ඩායමෙන් එල්ල වූයේ බලවත් විරෝධයකි. දර්ශන තල ගණනාවක් ම විරෝධතා පාන්නන් විසින් විනාශ කරන ලදී. 2017 වර්ෂයේ කොල්හාපුර් දර්ශන තලයට රාත්‍රියේ එල්ල වූ පෙට්‍රල් ප්‍රහාරයෙන් වටිනා වස්ත්‍රාභරණ ගණනාවක් සහ සත්ත්ව ජීවිත රැසක් විනාශ විය. පැය 48 ක් පුරා වෙහෙස දරා නිර්මාණය කළ සිනමා පටයේ ප්‍රථම පෝස්ටරය ද විනාශ කෙරිණි. පද්මිණී සහ කිල්ජි අතර සෙනෙහස විදහා දක්වන ජවනිකා ඇති බවට පැතිර ගිය රාවය මීට හේතුවන්නට ඇති බව සිදුවීමෙන් පසුව බන්සාලි පැවසුවේ එවැනි ජවනිකා නැති බවයි. සිනමාපටය ප්‍රදර්ශනය කිරීම, එය ගිනි තැබීම, දීපිකාගේ නාසය කැපීම, දීපිකාගේ සහ බන්සාලිගේ හිස කපාගෙන පැමිණෙන පුද්ගලයකුට ලක්ෂ දහයක් දීම, දීපිකා පණ පිටින් පුළුස්සා දැමීමට ඉල්ලා සිටීම දක්වා දුරදිග ගොස් ඇත. මේ වන විටත් අඛිල් භාරතීය ක්ෂත්‍රිය මහසභා කණ්ඩායමේ සාමාජිකයන් විසින් දීපිකා පදුකෝන්ගේ පඹයන් සිය ගණනක් දවා අළුකර ඇත. එම කණ්ඩායමේ නායක භුවනේෂ්වර් සිං පවසන්නේ ජීවිතය පරිත්‍යාග කළ පද්මාවතී රැජිනට ගිනි තබා ගැනීමේදී දැනුණු වේදනාව දීපිකාට දැනිය යුතු බවය. ඔහු දීපිකා පණ පිටින් පුළුස්සන අයකුට කෝටිපහක් දෙන බවට පොරොන්දු වී අවසන්ය.

සිනමා පටය තිරගත කිරීමට පෙර එය ඔවුන් ඉදිරියේ ප්‍රදර්ශනය කරන ලෙස බලධාරීන්ගෙන් විප්ලවවාදීහු ඉල්ලා සිටිති. දෙසැම්බර් 1 වැනි දිනට තිරගත කිරීමට නියමිතව තිබූවද තිරගත කිරීම කල් තබන ලද්දේ අධ්‍යක්ෂ ‍බන්සාලිගේ කැමැත්ත පරිදිය. ඒ වාගේම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය ද කුමන හෝ පාර්ශ්වයක සිත් රිදෙන ජවනිකා ඇත්නම් ඒවා ඉවත් කිරීමට බැඳී සිටියි. ගැටලු සහගත සියල්ල නිරාකරණය වූ පසු සිනමා පටය තිරගත වන දිනය ස්ථිරව ම තීරණය වීමට නියමිතය.

සල්මන් ඛාන්, සෝනම් කපූර්, ශබානා ආස්මි, සුධීර් මිශ්‍රා, ෆාරන් අක්තාර්, ප්‍රකාශ් රාජ්, රාජ්කුමාර් රාඕ, කරන් ජොහාර් ඇතුළු සුපිරි තරු, අධ්‍යක්ෂවරු මෙය සිනමා නිර්මාණකරණයට එරෙහිව කරන විරෝධය පෑමක් ලෙස දක්වා බන්සාලිට සහයෝගය දක්වා ඇත.

පද්මාවතී කාව්‍යමය පුරාවෘතය සිනමාවට නැඟුණු ප්‍රථම වතාව මෙය නොවේ. 1963 දී ‘චිතූර් රානි පද්මිණී’ ලෙස එය දමිළ බසින් නිර්මාණය විය. එහි වෛජයන්තිමාලා පද්මාවතීගේ චරිතය ද රාවල් රතන් ලෙස සිවාජි ගනේෂන් ද එම්.එන්. නම්බියාර් කිල්ජි ලෙස ද චරිත නිරූපණය කර තිබේ. එවර අන්තවාදීන්ගේ විරෝධය එල්ලවී ඇත්තේ වෛජයන්තිමාලාගේ නර්තන කුසලතාව නිසා පද්මාවතී රැජිනගේ නර්තන අංගයන් ඊට එක්කිරීම නිසාය. රාජස්ථාන රැජන කිසිදිනක නර්තනයේ යෙදී නැත. එහෙත් බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීමට සිනමා පටයට ඒ කිසිවක් බාධා වී නැත.

ඉන්දියානු රුපියල් කෝටි 180 - 190 ක් යොදවා හින්දි, රාජස්ථානි භාෂාවලින් නිපද වූ මිනිත්තු 193ක් පුරා දිවෙන බන්සාලිගේ නවතම කාව්‍ය නිර්මාණය ‘පද්මාවතී’ ට කෙබඳු ඉරණමක් අත්වේවිද? කෙසේ වුවත් උත්සව සමයේ වසර අවසානයේ ප්‍රේක්ෂකයන්ට තිළිණ වන මේ අති දැවැන්ත සිනමා නිර්මාණය සුන්දර මතකයක් වන බව නම් නොඅනුමානය.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »