Home / බොලිවුඩ් ගොසිප් / අභිෂේක් ඓශ් යළි පෙම්වතුන් වේවි ද?

අභිෂේක් ඓශ් යළි පෙම්වතුන් වේවි ද?

2017-08-22 09:12:00       704
feature-top
‘ඔවුන් දෙදෙන එක් කළේ ද සංගීතයයි. ඔවුන් දෙදෙන වෙන් කළේ ද සංගීතයයි.’ එදා හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය වූ ‘අභිමාන්’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තිරගත කෙරුණේ මේ තේමා පාඨය ගුවන් විදුලියෙන් රැව් පිළිරැව් නංවද්දීයි. (මේ පාඨය නිර්මාණය කර එය ගැඹුරු හඬින් ප්‍රකාශ කළේ බණ්ඩාර කේ. විජේතුංගයන් බව මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.)

අද බොලිවුඩයේ ‘බිග් බී’ ලෙස නමක් දිනා සිටින අමිතාබ් භච්චන් සහ ඔහුගේ බිරිය ජයා බහදුරි පෙම්වතුන් ලෙස රඟපෑ අභිමාන් තවමත් සිනමා රසික පරපුර වෙතින් ගිලිහී නොගිය චිත්‍රපටයක්. මේ ජනප්‍රිය සිනමා නිර්මාණය යළි නවමු ආරකින් රසික රසිකාවන් වෙත ගෙන එන්නට මීට වසර කිහිපයකට පෙර යම් උත්සාහයක් ගෙන තිබුණා. මේ අලුත් ‘අභිමාන්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ හැටියට තෝරා ගන්නට නියමිත වුණේ අමිතාබ් - ජයා යුවළගේ පුත්, අභිෂේක් භච්චන් සහ ඔහුගේ ආදරණීය බිරිඳ ඓශ්වර්යා රායි භච්චන්. නමුත් ඒ අලුත් ‘අභිමාන්’ චිත්‍රපටයේ වැඩ කටයුතු කිසිවක් සිදු වුණේ නැහැ.

පසුගිය සතියේ යළිත් මේ ගැන කසුකුසුවක් මතු වුණා. ‘අභිමාන්’ චිත්‍රපටය යළි නිර්මාණය කරන්නට යෝජනා වී ඇති බවයි එයින් කියවුණේ. මේ අලුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට අභිෂේක් සහ ඓශ්වර්යා තෝරා ගන්නට යළි යෝජනා වී ඇති බවත් පැවසුණා. මේ ගැන අභිෂේක් සහ ඓශ්වර්යාගෙන් ඉන්දීය මාධ්‍යවේදීන් විමසූ විට ඔවුන් දෙදෙනා එකහෙළාම කියා සිටියේ පැරැණි ‘අභිමාන්’ චිත්‍රපටයට අත නොතැබිය යුතු බවයි. අභිෂේක් අවධාරණය කළේ ‘අභිමාන්’ වැනි ජනප්‍රිය අව්‍යාජ සිනමා කෘතියක් යළි නිර්මාණය කර එහි වටිනාකම කෙ‍ෙළසිය යුතු නැති බවයි. මේ සමඟම බොලිවුඩ්පුරයෙන් වාර්තා වන්නේ අභිෂේක් සහ ඓශ්වර්යා පෙම්වතුන් ලෙස රඟපාන චිත්‍රපටයක් නැරැඹීමට රසික රසිකාවන්ට තවත් කාලයක් බලා සිටින්නට සිදුවිය හැකි බවයි. ඔවුන් දෙදෙනා අවසන් වරට එලෙස රඟපෑවේ 2010 දී තිරගත වූ මනිරත්නම් අධ්‍යක්ෂණය කළ ‘රාවන්’ චිත්‍රපටයේයි.

බොලිවුඩ්පුරයෙන් ලැබෙන තවත් ආරංචියක් පවසන්නේ අනුරාග් කාශ්‍යප් අධ්‍යක්ෂණය කරන ‘ගුලාබ් ජමින්’ චිත්‍රපටයේ රඟපෑමට අභිෂේක් සහ ඓශ්වර්යාට ඇරයුම් කර තිබෙන බවයි. නමුත් ඔවුන් දෙදෙනා මේ වනතුරු එයට කැමැත්තක් දක්වා නැතැයි පැවසෙනවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »