Home / බොලිවුඩ් ගොසිප් / ඓශ්වර්යාට අහිමි වූ පිය සෙනෙහස


ඓශ්වර්යාට අහිමි වූ පිය සෙනෙහස


2017-04-03 09:33:00       820
feature-top
සුපිරි තරුව, ඓශ්වර්යා රායිට පිය සෙනෙහස සදහටම අහිමි වුණේ පසුගිය සතියේ. ඒ, ඇගේ පියාණන් වූ ක්‍රිෂ්ණරාජ් රායි මෙලොවින් සමුගත් නිසයි. දැඩි අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු මුම්බායි නුවර ලීලාවති රෝහලට ඇතුළත් කෙරුණා. වසා පද්ධතියේ රෝගී තත්ත්වයකින් පසුවූ ඔහුගේ සෞඛ්‍යය දිනෙන් දිනම පිරිහෙමින් තිබුණා.

එම කාලය තුළදී ඓශ්වර්යා සහ ඇගේ පවුලේ අය නිතරම රෝහලට පැමිණියා. ඓශ්වර්යාගේ සැමියා, අභිෂේක් ඇමෙරිකාවේ චිත්‍රපට රූගත කිරීමට සහභාගි වී සිටියත් මාමණ්ඩියගේ අසනීප තත්ත්වය සැලවී ඔහු ඉක්මනින්ම රෝහලට පැමිණ සිටියා. අභිෂේක්ගේ මව සහ පියා ද (අමිතාබ් සහ ජයා යුවළ) ලීලාවති රෝහලට පැමිණ ක්‍රිෂ්ණරාජ්ගේ සුවදුක් විමසුවා. පියා අසනීපයෙන් සිටිද්දී ඓශ්වර්යාට තම දියණියගේ පාසලේ පැවැත්වූ ක්‍රීඩා උත්සවයටත් සහභාගි වීමට සිදුවුණා. දියණියගේ ඉගෙනීමේ කටයුතු අතපසුවන්නට ද ඓශ්වර්යා ඉඩ තැබුවේ නැහැ. කෙසේ වෙතත් දෙසතියක පමණ කාලයක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ක්‍රිෂ්ණරාජ් රායි, අවසන් හුස්ම හෙළුවේ පවුලේ සහ සෙසු සමීප ඥාතීන් මෙන් ම බොලිවුඩ්පුරයම හඬවාලමින්.

අවසන් කටයුතු සිදුකළ අවස්ථාවට ඥාතින් සියලු දෙනා සහ බොලිවුඩ් සිනමාවේ විශාල පිරිසක් ද සහභාගි වී සිටියා. ඔවුන් අතර ශාරුක් ඛාන්, කුනාල් කපූර්, සොනාලි බෙන්ද්රේ, වැනි වත්මන් බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු ද, සිමි ගරේවාල්, සහ රන්ධීර් කපූර් වැනි එදා යුගය බැබලවූ නළු නිළියන් ද පැමිණ සිටියා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සන්ජේ ලීලා භන්සාලි ද මේ අවමංගල උත්සවයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ. ක්‍රිෂ්ණරාජ්ගේ මරණය හේතුවෙන් මෙවර භච්චන්ලාගේ නිවසෙහි හෝලි උත්සවය නොපැවැත්වෙන බවත් දැනගන්නට ලැබුණා.

More News »