Home / බොලිවුඩ් ගොසිප් / සෝනු ගේ ගුවන් ප්‍රසංගයට දොස්

සෝනු ගේ ගුවන් ප්‍රසංගයට දොස්

2016-02-23 11:39:00       672
feature-top
පියාසර කරන ගුවන් යානයක් තුළ සුපිරි ගායකයකුගේ ගීත ප්‍රසංගයක් පැවැත්වීම තරමක අසාමාන්‍ය කටයුත්තක්. මීට පෙර අසා නොතිබුණු එවැනි ප්‍රසංගයක් පැවැත්වූයේ ජනප්‍රිය ගායක සෝනු නිගාම්.

ජෝඩ්පූර් සිට මුම්බායි නුවර දක්වා ගමන් කළ මගී ගුවන් යානයක පැවැත්වුණු මෙය, වාදන භාණ්ඩ වයමින් ඉදිරිපත් කළ ප්‍රසංගයක් නොවෙයි. සෝනු නිගාම් පමණක් ගුවන් යානය තුළ සිටගෙන දිගින් දිගට ම ගී ගායනා කිරීමයි සිදුවුණේ. ඒ මොහොතේ ගුවන් යානය තුළ සිටි මගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද සෝනු ගැයූ ජනප්‍රිය ගී වලින් මුසපත් ව සිටි බවයි ආරංචි.

සෝනුගේ පුංචි ප්‍රසංගය නිමාවට පත්වී ගුවන් යානය ගුවන් තොටුපළට ගොඩ බැස්ස වූ පසුව ඒ ගැයූ ගැයුම් සෝක සුසුම් බවට පත්වෙන්නට වැඩි වේලාවක් ගතවුණේ නැහැ. ගීත ප්‍රසංගය ගැන දැන ගත්තු එම ගුවන් යානය අයත් ජෙට් එයාවේස් සමාගම දැඩි තීරණයකට එළඹුණා. සෝනු නිගාම්ට ගුවන් යානය තුළ ගී ගැයීමට ඉඩ ලබාදුන් කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කළා. ජෙට් එයාවේස් සමාගමේ උසස් නිලධාරීන් පැවසුවේ ගුවන් මගීන් ඇමැතීමට භාවිත කෙරෙන ශබ්දවාහිනී යන්ත්‍රයෙන් සෝනු නිගාම් ගී ගායනා කළ බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ ගැන අදහස් දැක්වූ ඉන්දීය සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය මහේෂ් ෂර්මා පැවසුවේ ගුවන් යානයක ශබ්දවාහිනී පද්ධතිය භාවිත කිරීමට අවසර ඇත්තේ එහි කාර්ය මණ්ඩලයට පමණක් බැවින් ජෙට් එයාවේස් සමාගම ගත් මේ තීරණය ගැන සතුටු වන බවයි.

සෝනු නිගාම් මගී අසුන් පෙළ ඉදිරියේ ගී ගැයූ නිසා පසුපස අසුන්ගෙන සිටි මගීන් අසුන්වලින් නැගිට ඔහු දැකගන්නට උත්සාහ කළ බවට තොරතුරු ලැබී ඇතැයි ද ගුවන් සමාගමේ නිලධාරීන් පවසනවා.

එපමණක් නොවෙයි, ගුවන් යානයේ නියමු කුටියේ කාර්ය මණ්ඩලයේ අවධානය ද මේ කෙරෙහි යොමුවී ඇති බවට ද ආරංචි ලැබී තිබෙනවා. එය අනතුරකට අත වැනීමක් බව ද ඔවුන් පවසනවා.

සෝනු නිගාම් ගුවන් යානය තුළ ගී ගැයූ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනය ද මේ වන විට අන්තර්ජාලය තුළ ප්‍රචලිත වී තිබෙනවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »